සත්‍ය ආර්‍ය වංශ කතාව

වයස තිස් පහේ බුදුන් සරණ යාම.........

ගෞතම සිද්ධාර්ථයන් වයස 29 දී අභිනික්මන් කළ බවත්,වයස තිස් පහේදී පූර්ණ අවබෝධයට පත්වූ බවත් අප අසා ඇත...වයස අසූවේදී පරිනිර්වානයට පත්වූ බුදු රදුනට එම වයසේදී අමුතුවෙන් අවබෝධයක් ලබා ගැනීමට ඉතිරිව නොතිබූයේ ලැබිය යුතු අවබෝධය තිස් පහේදීම පූර්ණවම ලබා තිබූ නිසාවෙනි...එහෙත් සම්මත සමාජය හා ජීවත්වීමේදී  බුදු රදුන්ට සාමාන්ය ජීවිතය ගැන වයස තිස් පහේදී නොලැබූ දැනුමක් වයස් ගතවීමත් සමග ලැබෙන්නට ඇතැයි පසු කාලීනව උන්වහන්සේ විසින් එකතු කළ සංශෝධන දෙස බැලීමේදී තේරුම් යයි...

බුදු සසුන පිහිටුවා මුල් වසර විස්ස ගෙවුන පසු ශාසනයේ විවිධ විලෝපනයන් දැකීමෙන් සංවේගයට පත් බුදු සසුනේ දෙවැනියා වූ සාරිපුත්තයන් වහන්සේ, බුදුන් වෙතට පැමිණ නොයේකවිධ ශික්ෂාවන් පණවන ලෙස බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේය...එවිට බුදුන් එක හෙලා කියා සිටියේ “එය ශාස්තෲ විෂයයක් විනා ශ්රාවක විෂයයක් නොවන” බවයි...තම ශාසනයේ දෙවැනියාට බුදු රදුන් කියා සිටියේ එලෙසිනි....ශාරිපුත්තයන් වහන්සේටත් වඩා තමන් දන්නවා යැයි සිතා සිටින වර්තමන ඇතැම් “අමු ගිහියන්” කිසිදු ගිහි ශීලයක් හෝ නොරකිමින් පැවිද්දන්ට නීති පැනවිය යුතු බවට කරනු ලබන ඇතැම් ප්රකාශණ දුටු විට ඔවුනගේ “නොදැනුවත්බාවය” ගැන සියුම් කණගාටුවක් හටගනී....

සම්බුද්ධ පරිනිර්වානයෙන් බොහෝ කලක් යනතුරු බුදු පිළිම නෙලීමක් සිදු නොවූ අතර සියවස් කීපයකට පසු කෙමෙන් කෙමෙන් කාශ්මීර,ඝාන්ධාර(වර්තමානයේ ඇෆ්ඝනිස්ථානයේ ඛන්ධහාර්) පෙදෙස ආශ්රිතවත්,මධ්යතන භාරතයේ අජන්තාව, සාංචිය ඔස්සේත්, දකුණු ඉන්දියාවේ ආන්ද්රා පෙදෙසේ අමරාවතිය ආශ්රිිතවත් බුදු පිළිම නෙලීමේ කලාව ආරම්භ විය...පසු කාලීනව මෙය "සේද මාවත"  ඔස්සේ බාමියන් නිම්නය දෙසටත් ලක්දිව මියන්මාරය,ස්වර්ණභූමිය හෙවත් තායිලන්තය සිට ජාවා සුමාත්රා  ඔස්සේ ඉන්දුනීසියාවේ “බෝරො බුදුර්” දක්වාත පැතිර ගියේය....

එතැනින් නොනැවතුන මේ කලාව “සෙන් දහම” හරහා ඈත පෙරදිග චීනය,කොරියාව සහ ජපානය දක්වාම පැතිර ගියේය...කුමක් හෝ හේතුවක් නිසා මේසේ නෙළන ලද ප්රථිමා වලින් අති මහත් බහුතරයක් වයස තිස් පහේ තරුණ ජවයෙන් යුතු "ලක්ඛණ සූත්රයෙදී" ඉස්මතුකොට පෙන්වන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ආඩ්ය වූ උත්තුංග දේහදාරී ආරෝහ පරිනාහ බුදු රදුන් පෙන්නුම් කරන්නට විය....එහෙත් සූත්ර පිටකයේ පුක්කුසාති සූත්රය,අරිය පරියේෂණ,මහා පරිනිබ්බාන වැනි සූත්ර වලදී හමුවන බුදුන් තරමක් වෙනස් කෙනෙකි.....නොදන්නා බුදුන් වෙනුවෙන් ඝාන්ධාර දේශය අතහැර පැවිදිවූ පුක්කුසාතිටත්, කුඹල් හලේදී බුදුන්  බාහිර පෙනුමෙන් හඳුනාගත නොහැකි විය..වරක් මහ කසුප් හිමියන්ගේ දායක ස්ත්රීයකට බුදු රදුන් සහ කසුප් හිමියන් පැටලුනේය....

අවසන් සමයේදී පානීය ජලය පවා නොමැතිව බුදු රදුන් පැය ගනං ක්ලාන්තව වැතිර සිටි අයුරුත්,අනද හිමියන් විසින් පාංශුකූලික රෙදි කැබල්ලකට තණ කොළ මත තිබූ පිණි කැට බේරාගෙන බුර දුන්ට පානීය ජලය ලෙස පිළි ගැන්වූ අයුරුත්, වරක් ගැල් පන්සීයක් නිසා කැළඹුන “කුකුත්ථා නදියේ” අපිරිසිඳු ජලය නිසලව තිබෙන්නට හැර බුදු රදුන් පානය කළ අයුරුත්, සූත්ර පිටකයේ පැහැදිළිව සටහන්ව ඇත...තත්වය එසේ වුවත්, මේ පිළිම නෙලීමේ කලාව හරහා ප්රායොගික බුදු රදුන් අපෙන් යම් තාක් දුරකට ඈත් කොට නව යෞවන කායවර්ධන ශිල්පියෙක් මෙන්වූ බුදු රදුන් පමණක් ඉස්මතු කොට තිබීමෙන් අප යම් තාක් දුරකට නොමග යවා ඇතැයි මට සිතේ...

2016 වසර දක්වාම "ආරෝග්ය මදයෙන්" මත්ව සිටි මා, එකවරම මාරාන්තික පිළිකා රෝගියෙක්වූ පසු ජීවිතය දෙස බැලූ කෝණය සපුරාම වෙනස් වන්නට විය..ඇඟේ පතේ හයිය තිබියදී අපි හැසිරෙන  ආකාරයත්, ගත සිත දුබලව එක තැන්වූ විට අපේ හැසිරීමත් කොතරම් වෙනස් දැයි මට ප්රායෝගිකව දැනෙන්නට විය...වයස තිස් පහේ බුදු රදුන් දැක ගනිමින් සිටි මට දිනෙන් දින වයස අසූ වියට ආසන්න බුදු රදුන් ටිකෙන් ටික පෙනෙන්නට විය.....උන් වහන්සේ කොතරම් වෙහෙසකින් යුතුව වියලි භාරතය පුරා හුදී ජනයාගේ පහන් සංවේගයත්, සංසාර විමුක්තියත් වෙනුවෙන් පය පැකිලී ක්ලාන්තව වැටෙමින් වීථි සංචාරය කරන්නට ඇත්දැයි මට සිතෙන්නට විය.....නරසීහ ගාථා ඇසීමේදී හෝ ලක්ඛණ සූත්රය කියැවීමේදී මට හටගත් බුද්ධාලම්භන ප්රීතියට වඩා සියුම්වූත්, නිරාමිසවූත්,බුද්ධ ගෞරවයක් මා තුළින් මතුවන්නට පටන් ගන්නට විය....එය වයස තිස් පහේ බුදු රදුන්ගේ පිළිරූ දැකීමෙන් හටගත් හැඟීමට වඩා හාත්පසින්ම වෙනස් එකක් වන්නට විය.....බාහිර පෙනුමින් බුදු රදුන් දැක ගනිමින් සිටි මා උන්වහන්සේගේ අසහාය ගුණ සමුදාය ඔස්සේ දකින්නට පටන් ගත්තේ මේ තිස් පහේ බුදු රදුන්ගේ රූප පසෙකලා සූත්ර පිටකය විනය පිටකය හරහා උන්වහන්සේ දකින්නට පටන් ගත් විටය...ඒ බුදුන් අප මෙන්ම ජල පිපාසාවෙන් පීඩා විඳි, නොයේක විධ රෝග පීඩාවන්ගෙන්, ස්වාභාවික ආපදාවලින් මිතුරු-සතුරු කරදරවලින් පීඩා විඳි උත්තරීතර මිනිස් දහමින් පෝෂිත අසහාය මිනිසෙක් විය....

වයස තිස් පහේ , අසූ අටරියන්  බුදුන්ගේ පිළිම තුලින් උන්වහන්සේ දකින්නට ගොස් මට අතීතයේදී ගොඩාක් වැරදී තිබූ බව  පසක් වන්නට විය...එය මට තේරුම් ගැනීමට මාද වයස අසූවේ බුදු රදුන් මෙන් ශාරීරික පීඩාවන්ගෙන් පෙලෙන්නෙකු බවට පත්වන තුරුම සිටීමට සිදුවූ බව මා දැන් අත් දැකීමෙන් දනී..........

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..!.නීරෝගී වෙත්වා..!...සුවපත් වෙත්වා.!..දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා...!

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්..
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...

කෙළෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වැඩුමට වනේ වැඩි ඔබ..
සොයා ආවෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැතිවූ විට...

ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ..
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත....

පද ගෙත්තම : මහගම සේකර

සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular posts from this blog

සෙන් කතා