Skip to main content
ලස්සන වෙන්න ඇග හැඩට තියාගන්න ......

අද වෙනකොට හැමෝම තුළ ලස්සනට ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Instagram වගේ ඇප් හරහා ඇඟ හැඩට තියෙන කෙනෙකුට ඒ බව පෙන්වන්න තියෙන හැකියාව මේකට ප්‍රධාන හේතුවක් බව හිතන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ කවුරුත් හැඩට ඉන්න විශේෂ මහන්සියක් ගන්නවා. හැමදාම නාන කාමරේට ගිහින් හිට ගත්තාම ලැජ්ජා හිතෙන විදිහේ බඩක් තියෙනවා නම්, ඇඟේ හැටියට අත් දෙක සිහින් නම්, සිරුරේ කිසිම හැඩයක් නැති නම්, මොන ඇඳුම ඇන්දත් අපහසුයි, පෙනුමක් නැති නම් ඒකට යම් පිළියමක් යොදන්න හැමෝම කැමතියි. හැබැයි ඒකට මාස ගාණක් තිස්සේ ජිම් යන්න, කෑම පාලනය කරන්න, නිතරම මහන්සි වෙලා ව්‍යායාම කරන්න ඕන කියලා මතක් වුණාම නම් වැඩි දෙනෙක්ට තියෙන ඇඟ හොඳයි කියලා හිතෙනවා.

ව්‍යායාම නොකර ඇඟ කෙට්ටු කරගන්න, හැඩ කරගන්න පුළුවන් කියන පෙති, කරල්, තේ වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන, බඳ පටි වගේ දේවල් ඇති තරම් වෙළඳපොළේ දැක ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒවායෙන් කියන තරම් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. ලස්සනට ඇඟ හදාගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් නම් ලැබෙන එකම පිළිතුර ගොඩක් මහන්සි වෙලා, කැප වෙලා ඒ දේ ලබා ගත්තා කියන එකයි.
ඉතින් මේ අන්ත දෙකටම නොයා සැබෑ ප්‍රතිඵලයක් ගන්න ක්‍රමයක් නැද්ද? අද කතා කරන්නේ ඒ ගැනයි.

නීරෝගී වීම සහ ඇඟ හැඩ කරගැනීම හැම වෙලාවේම සමාන නැහැ.

අද කාලේ විවිධ ව්‍යායාම කරලා ඇඟ හැඩ කරගෙන ඉන්න සමහර අය දිහා බලනකොට නම් මේ දෙක අතර තියෙන වෙනස බොහෝ දුරට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවකට සහ පිරිමියෙකුට ඇඟ හැඩයි කියලා සළකන විවිධ මිණුම් දඬු සම්මත වෙලා තියෙනවා. මේ දෙපාර්ශවයටම පොදු දෙයක් තමයි බඩ ඉදිරියට නෙරා ඇවිත් නොතිබීම වඩා හොඳයි කියන එක. ඒ වගේම පිරිමි කෙනෙක්ගේ බඩේත්, මුළු සිරුරේමත් මාංශ පේශි පැහැදිලිව ඉලිප්පී තිබීම හොඳයි කියලා සැළකෙනවා. කාන්තාවකගේ තට්ටම් ඇතුළු පිටුපස ප්‍රදේශය තරමක් විශාලව තිබීම, උකුළ පළල් වීම සහ ඉඟ සිහින් වීම හොඳයි කියලා සැළකෙනවා. පියයුරුවල ප්‍රමාණය ගැන විවිධ අදහස් තිබුණත් එය ව්‍යායාමවලින් වෙනස් කරගන්න සාමාන්‍යයෙන් හැකියාවක් නැති නිසා මෙයට අදාළ වෙන්නේ නැහැ

යම් ආකාරවලට අතිශය පීඩාකාරී ක්‍රමවලින් මේ ලක්ෂණ වඩාත් හොඳින් ඉස්මතු කරගන්න පුළුවන් වුණත් එය හැම විටම නීරෝගී බවක් කියලා කියන්න බැහැ. සමහර විට සිරුර සැළකිය යුතු තරමින් වෙනස් කරන්න ලබා ගන්නා හෝර්මෝන ආදිය ඇත්තටම සාමාන්‍ය කෙනෙකුටත් වඩා රෝගී පුද්ගලයෙක් බවට කෙනෙකුව පත් කරන්න ඉඩ තිබෙනවා. ඒ ක්‍රම හෝ ජීවිතයේ අනෙක් කටයුතුවලට බාධාවක් වීමට තරම් වෙලාවක් වෙන් කිරීමෙන් තොරව ඒ මට්ටමට මේ ලක්ෂණ ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින්.
සිරුර වඩාත් ආකර්ෂණීය කරගැනීම කෙසේ වෙතත් නීරෝගී වීම නම් කෙනෙකුට හරිම වැදගත්. නීරෝගී කෙනෙකුගේ සිරුරේත් හොඳ හැඩයක් පැවතුණත් එය අර මට්ටමටම යන්නේ නැති තරම්. මේ නිසා වඩා වැදගත් වෙන්නේ මොකක්ද කියන එක ඔබම තීරණය කරන්න අවශ්‍යයි. නීරෝගී වීම ප්‍රධාන අරමුණ නම් එයට ගැළපෙන විදිහට හැඩ ගැසීම ගැනයි මේ ලිපියෙන් කියන්නේ.

ඇවිදින එක නෙවෙයි වැදගත්, හෘද ස්පන්දනය ඉහළ යන එක.

හැකි තරම් ඇවිදින එක නීරෝගී වෙන්න පහසුම ක්‍රමය කියන එක කාලයක් තිස්සේ ගොඩ නැගුණු සංකල්පයක්. සාමාන්‍යයෙන් කියන්නේ නීරෝගීව ජීවත් වෙන්න නම් දවසකට පියවර 10,000 ක් ඇවිදින්න අවශ්‍යයි කියලායි. කැලරි දහනය කරගෙන නීරෝගී වෙන්න ඇවිදීම ඉහළ නංවා ගැනීම ප්‍රචලිත වුණේ ජපානයේ එක්තරා සුවතා උපාංගයක් නිසායි. කොහොම වුණත් නිකන්ම ඇවිදින එක නම් ඒ තරම් ප්‍රයෝජනයක් නැති බව අද වන විට පිළිගැනනවා

නීරෝගී වීමේ ප්‍රධානතම අවශ්‍යතාව විදිහට සැළකෙන්නේ හෘද ස්පන්දන වේගය, නැතිනම් හද ගැස්ම ඉහළ යන ශාරීරික ක්‍රියාවල නිරත වීමයි. (මෙතැනදී කරන දේ ශාරීරික ක්‍රියාවක් වීම වැදගත්. බිය වීම ඇතුළු හැඟීම් සහ මානසික තත්ත්ව නිසාත්, රෝග තත්ව නිසාත් හදගැස්ම ඉහළ යාම මෙයට අදාළ නැහැ) සාමාන්‍යයෙන් කෙනෙකු සමතල පාරක් දිගේ ඇවිදගෙන යනවා නම් හදගැස්ම සැළකිය යුතු ලෙස ඉහළ යාමක් සිදු වෙන්නේම නැති තරම්. ගොඩක් වෙලා ඇවිදගෙන ගියොත් ඊට පෙර දෙපා රිදීම වගේ ගැටළු තමයි ඇති වෙන්නේ.

ඇවිදින ගමන් සින්දු කියන්න පුළුවන් නම් ඒ ඇවිදීමෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ

ඇවිදීමට හොඳම ක්‍රමය තමයි වේගයෙන් ඇවිදීම. වේගයෙන් ඇවිදිනවා කියනකොට අවශ්‍ය වේගය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන නිසා එය බලාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔබේ හුස්ම වැටීම ඉහළ යාම. සාමාන්‍යයෙන් වේගයෙන් ඇවිදින කෙනෙකුට වැඩි අපහසුවක් නැතිව කතා කරමින් එය කරන්න හැකියාව තියෙනවා. නමුත් ගීතයක් කීම වගේ වචන වැඩි ගණනක් එක හුස්මකින් කළ යුතු තරම් වෙලාවක් හුස්ම පවත්වා ගැනීම අපහසු විය යුතුයි. ඒ කියන්නේ සරලවම කිව්වොත් සින්දුවක් කියා ගන්න අපහසු වන තරමට හුස්ම ඉහළ යන්න තරම් වේගයෙන් ඔබ ඇවිදිය යුතුයි. එහෙම විනාඩි 10 ක් ගමන් කිරීමෙන් පියවර විශාල ගණනක් සාමාන්‍ය විදිහට ඇවිදීමට වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබෙන බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබනවා

වෙනස් විදිහකින් කිව්වොත් මේ විදිහට වේගයෙන් ඇවිදීම් විනාඩි 10 බැගින් දවසට තුන් වරක් කරන්න පුළුවන් නම් (හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය යථා තත්වයට පත් වන තුරු යම් විවේකයක් අතරමැද ගැනීම ඇතුළුව) එය පියවර 10,000 ක් දිනපතා ඇවිදීමට වඩා ඔබේ නීරෝගී බව ඉහළ නංවන්න දායක වෙන බවයි පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ. ඒ කියන්නේ සින්දු කියන්න අපහසු වන වේගයෙන් ඇවිදින පියවර ආසන්න වශයෙන් 3000 ක් (විනාඩියට පියවර 100 ක්) සාමාන්‍ය වේගයෙන් ඇවිදින පියවර 10,000 කට වඩා බොහොම ප්‍රයෝජනවත්.

හුස්ම ගැනීමේ වේගය වැඩි කරන වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් හොඳයි

කරන්න පහසුම දේ ඇවිදින එක වුණත් විශේෂ අපහසුවක් නැතිව කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තව බොහොමයක් තිබෙනවා. බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, පිහිනීම, දිවීම, පඩි පෙළක් නැගීම වගේ සිරුර වෙහෙසවා කළ යුතු අනෙක් ක්‍රියාකාරකම් ආදියත්, නර්තනයේ යෙදීම, යෝගා, කඳු නැගීම ආදියත් නිතර වේගවත්ව ඇවිදීමට අමතරව සුළු වශයෙන් හෝ කරන්න පුළුවන් නම් එය තමයි වඩාත් හොඳ. ඇමරිකානු හදවත් සංගමය, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව ඇතුළු පිළිගත් ආයතන බොහොමයක් අපට කියන්නේ සෑම සතියකටම වරක් සිරුර සැළකිය යුතු තරමින් වෙහෙසන (ඒ කියන්නේ කලිනුත් කිව්වා වගේ කතා කරන්න පුළුවන්, නමුත් සින්දු කියන්න අපහසු තරම් හුස්ම වැටීම ඉහළ යන) ක්‍රියාකාරකම් විනාඩි 150 ක කාලයක් කිරීම ප්‍රමාණවත් බවයි.



නිකමට හිතන්න එය ඒ තරම් අපහසු වැඩක්ද? දවසකට විනාඩි 22 කටත් අඩු සුළු කාලයක් තමයි වැය කරන්න අවශ්‍ය. මේකට අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැහැ. දිනපතා රැකියා ස්ථානයට, අධ්‍යාපන ආයතනයකට යන එනකොට එද්දීත් යද්දීත් විනාඩි 11 ක් බැගින් වේගයෙන් ඇවිදින්නයි අවශ්‍ය වෙන්නේ. පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කරනවා නම් නිවසට ආසන්නම ස්ථානයෙන් බහිනවා නගිනවා වෙනුවට ටිකක් ඈතින් තියෙන තැනක් තෝරා ගන්න පුළුවන්. පෞද්ගලික වාහනයක් පාවිච්චි කරනවා නම් තරමක් ඈත ස්ථානයකින් නවත්වා ඇවිද යාම ඒම වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.
ටිකක් හිතනවා නම් විශේෂයෙන් කාලය වැය නොකර නීරෝගී වෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම් කරන එක අපහසු වැඩක් නෙවෙයි.

බෝ නොවන රෝග නිසා පවතින සැබෑ අවදානම හඳුනා ගන්න

හදවත් රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග අද මුළු ලෝකයම වගේම ශ්‍රී ලංකාවත් මුහුණ දීලා ඉන්න බරපතලම ගැටළුවක් විදිහට සලකන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්ත අනුව ශ්‍රී ලංකාවේ සිදු වන සියලුම මරණවලින් 75% කටම හේතු වෙන්නේ මේ වගේ බෝ නොවන රෝග. ඒ විතරක් නෙවෙයි, රටේ මිනිසුන්ගෙන් 20% ක්ම මේ රෝග නිසා නිසි වයසට පෙර මිය යන බවත් එහි සඳහන් වෙනවා. විශේෂයෙන්ම දුම්පානය, මත්පැන් පානය, අහිතකර ආහාර ගැනීම සහ ව්‍යායාම මද කම වගේ කාරණා රටේ ආර්ථිකයට පවා සැළකිය යුතු බලපෑමක් කරන්න තරම් උත්සන්න වී තිබෙන බව කියවෙනවා. මෑතදී කරන ලද අධ්‍යනයකින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25% ක් ස්ථුල තත්වයේ පසු වන බවත් සොයාගෙන තිබෙනවා.
2017 වසරේ තෙවන කාර්තුවේදී මහජන සෞඛ්‍ය උදෙසා වැය කෙරුණු මුදල් ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3 ක් දක්වා ඉහළ ගිහින් තිබුණා, මෙය 2016 ට සාපේක්ෂව 10% ක ඉහළ යාමක්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය මොන තරම් ඉදිරියෙන් තිබුණත්, නිදහස් සෞඛ්‍යය අයිතිය සියලුම දෙනාට ලැබුණත් අපිට අපේ සුවතාව ගැන උවමනාවක් නැති නම් මේ වගේ බෝ නොවන රෝග නිසා පවතින ගැටළුවට සැබෑ විසඳුමක් නැහැ. විශේෂයෙන්ම නගරබදව වාසය කරන අය අතර අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඉහළ රුධිරගත කොලෙස්ටරෝල්, හදවත් රෝග, ඇදුම වගේ රෝගවල ව්‍යාප්තිය ගම්බදව හා වතු ආශ්‍රිතව ජීවත් වෙන පිරිසට වඩා සැළකිය යුතු ලෙස වැඩි බව දකින්න පුළුවන්. රටේ රෝග නිවාරණය සඳහා වැය කරන මුළු ජාතික ධනයෙන් 70% කටත් වඩා මේ වගේ පහසුවෙන් වළක්වා ගත හැකි රෝග නිවාරණයට වැය වීම විශාල ගැටළුවක් නේද?
ඉතින් දැන්ම තීරණයක් අරගෙන තමන්ගේ නීරෝගී බව ගැන සැළකිලිමත් වෙන්න. ලෝකයේ ඔබට උපයන්න පුළුවන් ලොකුම ධනය නීරෝගී බව කියන එක කවදාවත් අමතක කරන්න එපා. අද ඔබ ඒ වෙනුවෙන් පොඩි මහන්සියක් ගත්තොත් අනාගතයේ ඔබට සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් වියදම් කරන්න සිදු වෙන මුදල් සම්භාරයක් ඉතිරි කරගන්න පුළුවන් වෙන බවත් හොඳින් මතකයේ තියා ගන්න

Comments

Popular posts from this blog

සෙන් කතා