දුක සහ දුකින් මිදීම ...
කොච්චර ලැබුනත් තිබුනත් මදී කියල හිතෙනවාද ? එහෙනම් මේ ටිකත් කියවල බලන්න….
කාමසුඛල්ලිකානු යෝගය හීනය, ග්‍රාම්‍යය, පෘථග්ජනයන් විසින් ඇසුරු කරනු ලබන්නකි. අනාර්ය වූවකි. අනර්ථසංහිතය යනුවෙන් කරුණු පහකින් ප්‍රතික්‍ෂේප කරන බුදුරජාණන් වහන්සේ, අත්තකිලමතානුයෝගය දුක් සහිත, අනාර්ය අනර්ථ සංහිත පැවැත්මක් ලෙස ප්‍රතික්‍ෂේප කරති. ඉන් අනතුරුව මෙම අන්ත දෙක බැහැර කොට අනුගමනය කළ යුත්තේ කෙබඳුමාර්ගයක් දැයි පැහැදිලි කරනුයේ මැදුම් පිළිවෙත ඉදිරිපත් කරමිනි
ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් පාරමී දම් සපුරා උතුම් බුද්ධත්වයට පත්ව දේශනා කළ මංගල ධර්මය නම් දම්සක් පැතුම් සුතුරයි. උන්වහන්සේ එය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් අරභයා දේශනා කළහ.බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ උතුම් දහමෙහි දාර්ශනික වශයෙන් ඉතා වැදගත් සම්පිණ්ඩනයක් ලෙස ද ධම්මචක්කප්පවත්තන සූත්‍රය සලකා ගත හැකිය.
එහි දී බුදුරදුන් පහළ වූ භාරතීය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පැවති මුඛ්‍ය දාර්ශනික චින්තාවන් දෙක වූ උච්ඡේද දෘෂ්ටියත් ශාස්වත දෘෂ්ටියත් ඒවා පදනම් කොටගෙන පිළිවෙලින් හටගත් කාමසුඛල්ලිකානුයෝගයත් අත්තකිලමතානුයෝගයත් යන දෘෂ්ටීන් යන අන්තයන් ප්‍රතික්‍ෂේප කොට තමන් වහන්සේ සොයාගත් උතුම් දර්ශනය හා චරණය දම්සක් පැවතුම් සුතුරේ දී ඉදිරිපත් කෙරෙයි.
කාමසුඛල්ලිකානුයෝගය හීනය, ග්‍රාම්‍යය, පෘථග්ජනයන් විසින් ඇසුරු කරනු ලබන්නකි. අනාර්ය වූවකි. අනර්ථසංහිතය යනුවෙන් කරුණු පහකින් ප්‍රතික්‍ෂේප කරන බුදුරජාණන් වහන්සේ, අත්තකිලමතානුයෝගය දුක් සහිත, අනාර්ය අනර්ථ සංහිත පැවැත්මක් ලෙස ප්‍රතික්‍ෂේප කරති.
ඉන් අනතුරුව මෙම අන්ත දෙක බැහැර කොට අනුගමනය කළ යුත්තේ කෙබඳුමාර්ගයක් දැයි පැහැදිලි කරනුයේ මැදුම් පිළිවෙත ඉදිරිපත් කරමිනි. දම්සක් පැවතුම් සූත්‍රයේ එය සංක්‍ෂේපයෙන් ඉදිරිපත් කොට සිවුසස් පැහැදිළි කොට ඇත. එනම් දුක්ඛ, සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයයි.
එහි දුක්ඛ සත්‍යය යනු පවත්නා යථා තත්ත්වයයි. අපි හැම කෙනෙක් ම දුක්ඛ ස්වභාවයට මුහුණ දෙමින් ජීවත් වෙමු. දුක නමැති ස්වභාවය සක්විති රජෙකුටවත් ඉක්මවිය නො හැක්කකි. “ දුෙක්‍ඛ ලොකො පතිට්ඨිතො “ මුළු මහත් ලෝකයම දුක මත පිහිටා ඇත. එ හෙයින් සැප යැයි අප කල්පනා කරන කාරණා පවා අයත් වන්නේ දුක්ඛ ගොඩට ම ය. “ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුෙක්‍ඛා මරණම්පි දුක්ඛං අප්පියෙපි සම්පයොගො දුෙක්‍ඛා පියෙහි විප්පයොගො දුෙක්‍ඛා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” “ජාතිපි දුක්‍ඛා - ඉපදීම දුකක් ලෙස පෙන්වයි. සච්චවිභංග සූත්‍රයේ මෙම කාරණාව මෙසේ සවිස්තරව පැහැදිලි කෙරේ.” සඤ්ජාති අභිනිබ්බත්ති “ හට ගැන්ම, මතුවීම, සත්ත්වයෙක් ලෙස බිහිවීම ජාති නම් වේ. ඉපදීම දුකක් වුව ද සත්‍ය වශයෙන් සාමාන්‍ය ලෝකයේ උපත දුකක් ලෙස නොසැලකේ.
උපන් දිනයේදි විවිධ උත්සව පැවැත්වේ. උපන් දිනය අභිනන්දනීය ලෙස සමරති. එහෙත් බුදු දහමේ සඳහන් උපත සැමරිය යුත්තේ එහි දුක අවබෝධ කොට ගෙන උපත අවසන් කිරීමට හේතුභූ®ත වන කරුණු ක්‍රියාත්මක කරමිනි. ජාති, දුක්ඛ ගණයට අනුශංගිකව පවත්නා දුක ලෙස, “ගබ්භොක්කන්ති මූලකාදිභෙදං දුක්ඛං” යනුවෙන් ගැබ පිළිසිඳ ගැනීමේ දුක හඳුන්වා දෙයි. අප හැම දෙනම ආසන්න වශයෙන් මාස නවයක් පුරාගැබක සිරකරුවන් වී සිටියෙමු. උපත ආශ්වාදනීය කරුණක් ලෙස සලකා ගත්තද, මාඞශමය ශරීරයක් තුළ එනම්, මවගේ කුස තුළ අප කෙතරම් පීඩාවට ලක් වී ඇත්ද යන්න අපට අනුමානයෙන් සිතාගත හැකිය. “ගබ්භපරිහාරක මූලකං දුක්‍ඛා “ යනුවෙන් මව ගැබ පරිහරණය කිරීමේදී ඇතිවන දුක පෙන්වා දෙයි. මවගේ හැරිම පෙරළීම් ආදි හැසිරීම් රටාව තුළ ගැබේ සිටින දරුවාට බොහෝ පීඩා විඳීමට සිදුවේ. “විජායනමූලකං දුක්‍ඛං “මව දරුවා ප්‍රසූත කිරීමේ දී දුක හට ගනී. උපතින් පසුව ඇතිවන සියලු දුක් ජරා, ව්‍යාධී හා මරණ ආදි දුක් ගණයට අයත් වේ. දිරායාම හෙවත් වියපත් වීම, ව්‍යාධි හෙවත් රෝගී වීම උපන් සියල්ලන්ටම පොදුවේ මුහුණ දීමට සිදුවන තත්ත්වයන්ය.
“අප්පියෙපි සම්පයොගො දුෙක්‍ඛා” අපි‍්‍රයයන් හා එක්වීම දුකකි. බෞද්ධයා කරන සියලු පිංකම් අවසන “මා මෙ බාලසමාගමො” යනුවෙන් නිතර ප්‍රාර්ථනා කරන්නේ සසර වසන තුරු අසත්පුරුෂයන් මට හමු නොවේවා දුර්ජනයන්ගේ හෝ බාලයන්ගේ ඇසුරක් නොවේවා යනුවෙනි.මෙලොව කුමන මට්ටමේ කෙනෙකුට වුව ද අපි‍්‍රයයන්ගේ එක්වීම, හමුවීම දුක් වේදනා විඳීමට හේතු වන කරුණකි.
පියෙහි විප්පයොගො දුෙක්‍ඛා “ පිය විප්පයෝගය ද දුකකි. තමා පි‍්‍රය කරන්නන් ගෙන් වෙන්වීම දුක අත්වීමට හේතු වන කරුණකි.
අප්පියසම්පයෝගය හා පියවිප්පයෝගය අපට උරුම දෙයකි. එහෙත් එය අවබෝධ කොට ඒ තුළ මනස සකස් කර ගැනීමෙන් විශාල ආධ්‍යාත්මික සුවයක් ලැබිය හැකි වේ. “යම්පිච්ඡිං න ලභති තම්පි දුක්‍ඛං” යමෙක් යමක් අපේක්‍ෂා කරයිද? බලාපොරොත්තු ගොඩනගා ගනියි ද? එය නොලැබේ නම් ඉන් දුක හට ගනී. එබැවින් “ජයං වෙරං පසවති – දුක්‍ඛං සෙති පරාජිතො” යනුවෙන් ජයග්‍රහණය කරන්නාට වෛරීන් ඇති වන බවත් පරාජය වන අයට දුකෙන් සිටීමට සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. “උපසන්තො සුඛං සෙති – හිÀවා ජයපරාජයං” පුද්ගලයෙකුට ඇති ලොකු ම සහනය උපශාන්ත වීමයි. ජය පරාජය දෙකම අතහැර දමමින් උපශාන්ත පුද්ගලයා සුවසේ වෙසේ. අපි කුමක් ජය ගත්තද ජයග්‍රහණය පරාජයේ ආරම්භය බව ධර්මානුකූ®ලව තේරුම් ගෙන කටයුතු කළ යුතුය. සදාකාලික ජයග්‍රහණ ලොව නොමැත. “සබබේ සඞඛාරා අනිච්චා”
සියලු සංස්කාරයන් අනිත්‍යය, එබැවින් අප ලබා ඇති සියලු සැප සම්පත් අතහැර යාමට අවස්ථාවක් යම් දිනෙක ඒකාන්තයෙන්ම උදාවනු ඇත. බුදු දහමේ දුක තෙයාකාරයකින් පෙන්වයි.
1. දුක්ඛ දුක්‍ඛ – අප නිතර කථා කරන සමාජ ගත දුක් මෙහිලා විස්තර වේ
2. සංඛාර දුක්‍ඛ - සංස්කාර පදනම් කොට ඇතිවන දුක් මෙයින් කියැවේ
3. විපරිණාම දුක්‍ඛ – වෙනස්වීම නිසා දුක් බවට පත්වීම මෙහි අදහසයි.
”විපරිණාම දුක්‍ඛන්තිඛො භික්ඛවෙ සුඛස්සෙතං අධිවචනං “ විපරිණාම දුක්‍ඛ යනු සැපය හඳුන්වන තවත් නමකි. පෙරළීම, වෙනස්වීම නිසා ඇතිවන දුක් මේ ගණයට අයත් වේ. දුකත් දුකකි. සැපත් දුකකි. දුක්ඛ යන්නේ දුක යන්නෙන් වේදනාකාර බවත්, ඛ – යන්නෙන් හිස් බවත් අර්ථවත්වේ. ඒ අනුව දුක වේදනාකාරී බැවින් ද සැප හිස් බැවින්ද දුක් ගණයෙහි ලා සලකා ගැනීම සුදුසු ය. දුකට ඇති වේදනාකාරි බැවින් ද සැප හිස් බැවින් දුක් ගණයෙහි ලා සලකා ගැනීම සුදුසුය. දුකට ඇති පැහැදිලි ම අර්ථ කථනය අතෘප්තියයි. මිනිසාට කොපමණ කාරණා සම්පූර්ණ වුවත් අඩුවක් දැනේ. ඒ දුකෙහි ස්වභාවයයි. “ඌනො ලොකො අතිත්ථො - තණ්හා දාසො “ ලෝකය ඌනය, මදිකමින් පෙළේ. අතෘප්තියෙන් පෙළේ. තණ්හාවට දාසකම් කරයි.අප මිදිය යුත්තේ දිළිඳු කමින් නොව තෘෂ්ණා දාසකත්වයෙනි. තෘෂ්ණා දාසකත්වයෙන් මිදුණ තැනැත්තා දිළින්දෙක් නොවේ. බුදුදහම අනුව දුක ඉතා විශාල පරාසයක් තුළ සාකච්ඡා කෙරෙන කාරණාවකි.
bs
ReplyDelete🙏
Delete