“සංහිඳියාවේ මාර්ගය (The way of harmony)”
 හප්කී-දෝ -합기도 (Hapki-do)

ලොව පවතින සටන්කලා ශෛලීන් අතර තවත් අග්‍රගන්‍යය සටන් ශෛලියක් ලෙස "හප්කී-දෝ" සටන් ශෛලිය නම් කල හැක. කොරියාව නිජබිම කරගත් "හප්කී-දෝ" සටන් කලාවේ උපත සිදුවන්නේ කොරියාව, ජපානයේ යටත් විජිතයක් ලෙස පැවති කාල වකවානුව අවසානයේදී ය. (1910-1945).

"හප්කී-දෝ" කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන "චොයි යොන්ග් සෝල් - 최용술 (Choi Yong-Sool )" වර්ෂ 1904 නොවැම්බර් මස 9 වන දින වත්මන් දකුණු කොරියානු "චුන්ග්චිඕන්ග්බුක්-දෝ" පළාතේදී උපත ලදී. කුඩා කලදීම දෙමාපියන් අහිමි වූ කුඩා "චොයි යොන්ග් සෝල්" හැදී වැඩෙන්නේ ඔහුගේ නැන්දා කෙනෙකුගේ සෙවනේය. අහඹු සිදුවීමක් මත ජපානය බලා සංක්‍රමණය වන කුඩා "චොයි යොන්ග් සෝල්" වයස අවුරුදු 8 දී සටන් කලා ලොවට අත්පොත් තබන්නේ ලොව අග්‍රගන්‍යය සටන් ගුරුවරයකු වූ “තකේදා සෝකකු - 武田 惣角 (Takeda Sōkaku)” ගෙනි. “තකේදා” ගුරුතුමන්ගේ “දයිතෝ-රියූ - 大東流 (Daitō-ryū)” සටන් පාසලෙන් “අයිකී-ජූජිට්සු -合気柔術 (Aiki-jūjutsu)” සටන් ශෛලිය වසර 30 ක පමණ කාලයක් මනා ලෙස ප්‍රගුණ කරන “චොයි යොන්ග් සෝල්” වර්ෂ 1948 දී නැවතත් කොරියාවට පැමිනෙන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලයේදී ය.

“චොයි යොන්ග් සෝල්” ගේ කොරියුනු පුණරාගමයත් සමඟම ඔහුට අවශ්‍යය වෙනවා ඔහු උගත් “අයිකී-ජූජිට්සු” ශෛලීය කොරියාව තුල ඉගැන්වීමට. කොරියානුවන් අතරට “අයිකී-ජූජිට්සු” කලාව ව්‍යාප්ත කිරීමේදී “චොයි යොන්ග්” විසින් ඊට කොරියානු සාම්ප්‍රදායික සටන් කලාවන් වන “තයික්යොන් - 택견 (Taekkyeon)” සහ “තන්ග් සෝ දෝ - 당수도 (Tang Soo Do)” කලාවන් මිශ්‍ර කරගනු ලබනවා. ඒ හරහා ඔහු විසින් ඔහුගේම නව ශෛලියක් ලෙස තමයි “හප්කී-දෝ” නිර්මාණය කරන්නේ. මුල් කාලයේදී “යූ ක්වොන් සෝල් (Yu Kwon Sool) සහ “හප්කී යූ ක්වොන් සෝල් (Hapki Yu Kwon Sool)”ලෙස “චොයි යොන්ග්” විසින් තම කලාව හඳුන්වන ලදී. වර්ෂ 1951 වන විට “චොයි යොන්ග්” විසින් ඔහුගේ ප්‍රථම සටන් ක්‍රමය “දයිහන් හප්කී යූ ක්වොන් සෝල් (Daehan Hapki Yu Kwon Sool)” ලෙස “දයිගු” ප්‍රදේශයේ දී ඉගැන්වීම ආරම්භ කළ අතර, වර්ෂ 1958 දී “චොයි යොන්ග්” විසින් ඔහුගේ ශෛලිය “හප්කී-දෝ -합기도 (Hapki-do)” ලෙස නම් කරමින් තමන්ගේම සටන් පාසලක් “දයිගු” ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.  “සෙඔ බොක්-සෙඔබ් (Seo Bok-seob) “චොයි යොන්ග්” ගේ පළමු ශිෂ්‍යා විය. “චොයි යොන්ග්” වෙතින් “හප්කී-දෝ” කලාව පිළිබඳව උසස්ම ශ්‍රේණිය වන කලුපටි 10 වන ශ්‍රේණිය ලබාගත් එකම සිසුවා වන්නේ “චිනිල් චැංග් (Chinil Chang) ය. ඒ, වර්ෂ 1985 අප්‍රේල් මස 05 වෙනිදා ය. හප්කී-දෝ කලාවේ පියා වන “චොයි යොන්ග් සෝල්” ගුරුතුමන් වර්ෂ 1986 ජුනි මස 15 වන දින මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 81 කි.

“හප්කී-දෝ -합기도 (Hapki-do)” යන්න නිර්වචනය කිරීමේදී, “හප් = සම්බන්ධය/බැඳීම/සංහිඳියාව (Coordinated/Joining/Harmony)” ලෙසද, “කී = ශක්තිය/ආත්මය (Energy/Spirit/Strength)” ලෙසද, “දෝ = මාර්ගය/කලාව (Way/Art)” ලෙසද අර්ථ ගැන්වේ. එවිට “හප්කී-දෝ - 합기도 (Hapki-do)” යන්න, “ශක්තිය හා සම්බන්ධ වන මාර්ගය (The way of coordinating energy)” හෝ “සංහිඳියාවේ මාර්ගය (The way of harmony)” ලෙස අර්ථ ගැන්වේ. “හප්කී-දෝ -합기도 (Hapki-do)” කලාව ප්‍රධාන මූලධර්ම 3 ක් මත පදනම්ව ඇත. 1) හ්වා - hwa (Non-resistance or Harmony). මෙහිදී සිදුවන්නේ ප්‍රථිවාදියාගේ බලය උපයෝගී කරගෙන ඔහුගේ සමබරතාවය බිඳහෙලීමයි. එනම්, “යමෙක් තල්ලු කළොත් ඉවත් වීම සහ යමෙක් ඔහු දෙසට ඇද්දොත් එම දිශාව දෙසටම එකතු වීම තුළින් ප්‍රථිවාදියාගේ සමබරතාවය බිඳහෙළීමයි.” 2) වොන් - won (Circle). මෙහිදී පාද හැසිරවීම මඟින් වෘත්තාකාරව ප්‍රථිවාදියාගේ මාර්ගයෙන් ඉවත් වීම එනම්, “අත්, පා හෝ යම් ආයුධයකින් සිදු කරනු ලබන පහර දීමකදී පහර එන දිශාවෙන් වෘත්තාකාර ලෙස ඉවත් වීම මඟින් ප්‍රථිවාදියාගේ සමබරතාවය බිඳහෙළීම සිදුකරයි.” (මෙම ක්‍රමවේදයන් අයිකී-දෝ සහ ජූජුට්සු කලාවන් තුල මුලුමනින්ම අන්තර්ගතව ඇත.) 3) යූ - yu (Water/Flexible) මෙය ඉතාමත් සංකීර්ණම ක්‍රමවේදයයි. අප ඉහත දැක්වූ මූලධර්මයන් දෙකම ඉතාමත් මෘදු ලෙස සිදුකිරීම අත්‍යාවශ්‍යම කරුණකි. “අපගේ සියළුම චලනයන් සහ ප්‍රථික්‍රියා සියල්ලක්ම සිදු කල යුත්තේ ප්‍රථිවාදියාටත් වඩා ඉතාමත් මෘදු ආකාරයෙනි.” මෙම මූලධර්මයන් 3 පදනම්ව “හප්කී-දෝ -합기도 (Hapki-do)” කලාව විකාශනය වේ.

“හප්කී-දෝ -합기도 (Hapki-do)” කලාවේ තාක්ෂණික ක්‍රමවේදයන් ලෙස කොරියානු සාම්ප්‍රදායික සටන් කලාවන් වන “තයික්යොන් - 택견 (Taekkyeon)” සහ “තන්ග් සෝ දෝ - 당수도 (Tang Soo Do)” පා පහර (Kicking Techniques), අත් පහර (Hand Strikes), පහර වැලැක්වීමේ ක්‍රම (Blocks) අන්තර්ගතව ඇති අතර, වර්ථමානයේ දී එයට “තයි ක්වොන් දෝ (Tae Kwon Do)” කලාවේ ක්‍රමවේදයන් ද අන්තර්ගත කොට ඇත. එවගේම “අයිකී-ජූජිට්සු -合気柔術 (Aiki-jūjutsu)” සටන් ශෛලියට අදාල “මැණික් කටුව, වැලමිට, උරහිස, දණහිස සහ වළලුකර” ආශ්‍රිත සිදුකරනු ලබන අස්ථි ගැට (Joint manipulation techniques) සහ “ජූදෝ - 柔道 (Judo) ශෛලියට අදාල “විසිකිරීම් සහ භූමි සටන් ක්‍රම (Throwing & Ground Fighting)” භාවිතා කරනු ලබයි. සමස්තයක් ලෙස ගත් කල “හප්කී-දෝ -합기도 (Hapki-do)” යනු ඉතාමත් ප්‍රායෝගික සටන් ක්‍රමවේදයක් වන අතර අත්, පා මෙන්ම, ආයුධ වලින් සිදුකරනු ලබන පහර දීම් වලට ඉතා සාර්ථකව ප්‍රථික්‍රියා දැක්වීමට මෙමඟින් අවකාශ ඇත.

Comments

Popular posts from this blog

සෙන් කතා