Wing chun punch 

වින්ග්චුන් මුෂ්ටි පහර (Ving Tsun Punch)

================================

වින්ග්චුන් ශිල්පයේ එන මුෂ්ටි පහර එම සටන් කලාවටම අනන්‍ය වූ ශිල්පීය ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. බොහෝවිට එක දිගට දාමයක් ලෙසින් පිට පිටම එල්ල කරන මෙම මුෂ්ටි ප්‍රහාරයන් ඔබ චිත්‍රපට වලින් දැක ඇතුවාට සැක නැහැ. මෙය වින්ග්චුන් වලදී ඉගෙනගන්නා මූලිකම ශිල්ප ක්‍රමයක් වුවත් සටනකදී ඉතාම ප්‍රයෝජනවත් පහරක් ලෙස හඳුන්වන්න පුළුවන්. නිවැරදිව මෙම පහර පුරුදු වූ අයෙකුට තත්පරයක කාලයක් තුලදී සටනක් අවසන් කිරීමට හැකියාව තිබෙන අතර හකුඇටය හෝ ඉළ ඇට බිඳී යන තරමේ බලයක් පහසුවෙන්ම ජනනය කරන්න පුළුවන්. අවම තරමේ වසරක්වත් මෙම පහර නිරන්තරයෙන් පුහුණු විය යුතුයි මේ තත්වයට ලඟා වීමට නම්.

පැරණි ගල් අඟුරු දුම්රිය ඇන්ජිමක රෝද ඉදිරියට චලනය කිරීම සඳහා එම රෝද එයට පි‍ටුපස ඇති ප්‍රධාන රෝදයට සම්බන්ධ කර තිබෙන දණ්ඩ (Driving gear) ඔබ දැක තිබෙනවානම් ඒ අනුසාරයෙන් මෙම වින්ග්චුන් මුෂ්ටි පහරේ යාන්ත්‍රණය පැහැදිලි කරදෙන්න පුළුවන්. 
පි‍ටුපස ප්‍රධාන රෝදයෙන් බලය ජනනය කරන විට ඉදිරි රෝද වෙත එම බලය සම්ප්‍රේෂණය කරමින් දණ්ඩ ඉදිරියට ගමන් කර නැවත පහලට වක්‍රව එය පසුපසට පැමිණ යළිත් බලය ඉදිරියට සම්ප්‍රේෂණය කිරීම සඳහා සූදානම් වන ආකාරයට සමාන ආකාරයකට තමයි වින්ග්චුන් පහර එල්ල කරන්නේ. මෙහිදී ප්‍රථමයෙන් සෘජුව ඉදිරියට එල්ල කරන මුෂ්ටි පහර අවසානයේදී එම අත ඒ වනවිට පි‍ටුපස තිබෙන අතට ඉදිරියට ඒම සඳහා අවැසි පමණට පමණක් පහලට ගෙන දෙවන අතින් මුෂ්ටි පහර එල්ල කරනවාත් සමගම ඒ වන විට ඉදිරියෙන් තිබෙන ප්‍රථම අත පසුපසට ගැනීම සිදු කරනු ලබනවා. මෙම ක්‍රියාවලිය නොනවත්වා දිගින් දිගටම කිරීමෙන් දාමයක් ආකාරයෙන් පහර එල්ල කිරීම සිදු කළහැකියි.

සමහර වින්ග්චුන් පෙළපත් වලට අනුව මෙම පහර එල්ල කිරීමේදී සම්පූර්ණයෙන්ම අත දිගහැරීමට පෙර පහර නතර කරන ලෙස උගන්වනවා. එසේ කියන්නේ අත සම්පූර්ණයෙන්ම දිගහැරීමේදී පමණට වඩා අත දිගහැරී මාංශපේශී වලට සහ වැලමිටට හානියක් වීමට ඉඩ ඇතැයි යන මතය නිසා. නමුත් මාගේ පෙළපතට අනුව සම්පූර්ණයෙන්ම අත දිගහැර පහර එල්ල කළ යුතුයි. පහර සෘජු පථයක ගමන් කරන විට සහ මාංශපේශීන් ඉහිල්ව තබාගත්විට අත සම්පූර්ණයෙන්ම දිගහැරී අවසන් වන මොහොතේ එය පමණට වඩා දිගහැරීම වළක්වා ගැනීම සඳහා මාංශපේශීන් ස්වභාවිකවම ක්‍රියා කරනවා. ඒ නිසා හානියක් වීමේ අවදානමක් නැහැ. අත පොළවට සමාන්තරව සෘජු මාර්ගයක ගමන් කරන්නේ නම් කිසිඳු අනතුරක් වන්නේ නැහැ. නමුත් අත චලනය වන්නේ කවාකාර මාර්ගයක නම් එවිට හානියක් වීමේ අවදානමක් තිබෙන බව මතක තබාගත යුතු යි.

වින්ග්චුන් මුෂ්ටි පහර එල්ල කිරීමේදී පාද, ඉණ, උරහිස, වැලමිට, සහ මැණික්ක‍ටුව යන ස්ථාන අතර මනා සහසම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට පුරුදු විය යුතුයි. පහරේ බලය උපරිම ලෙස ප්‍රතිවාදියා වෙත යොමු කළ හැක්කේ ඉහත කී ස්ථාන අතර මනා සම්බන්ධතාවයක් තිබේ නම් පමණයි. ඒ වගේම පහර එල්ල කිරීමේදී මුෂ්ටියෙහි ඇති පහල knuckles දෙක හෝ තුන පමණක් භාවිතා කරන්න. එමෙන්ම වැලමිට සන්ධිය පහලට යොමු කරන අතරම මැණික්ක‍ටු සන්ධිය හැකි තාක් සෘජුව තබා ගැනීමට උත්සහ ගන්න. ඊට අමතරව ශරීරය ඉදිරියට, පසුපසට හෝ දෙපසට නැවීමද සිදු නොකළ යුතු යි. පහරේ අඩංගු බලය මුලින්ම ජනනය වන්නේ පොළවෙන් වන අතර එම බලය පාද, ඉණ, කොඳුඇටපෙළ, උරහිස, වැලමිට සහ මැණික් ක‍ටුව යන ස්ථාන හරහා සාර්ථකව මුෂ්ටිය වෙත ගෙන ප්‍රතිවාදියාට යොමු කිරීමට නම් ඉහත සඳහන් පියවරයන් අනුගමනය කිරීම ඉතා වැදගත්.

සමහර පෙළපත් වලට අනුව මෙම පහර එල්ල කිරීමේදී මැණික් ක‍ටුව ගැස්සීමකට (jerk) ලක් කල යුතුයි. නමුත් මාගේ පෙළපතට අනුව එය නොකල යුතු ක්‍රියාවක්. එසේ කිරීමෙන් පහරේ ඇති ශක්තිය අපතේ යාමකට ලක් වනවා වගේම මැණික් ක‍ටුව සන්ධිය බිඳීමකටද ලක් විය හැකියි. ඒ වාගේම මිට මොළොවාගත් අත සෘජුව තබාගත යුතු අතර එය කිසිඳු දිශාවකට ආනතව තබා ගැනීමෙන් වැලකිය යුතුයි. එසේ තබාගැනීමෙන් සිදුවන්නේත් බලය අපතේ යෑමක්.

අනෙක් වැදගත් කරුණ නම් වැලමිට පහලට යොමු වන සේ තබා ගැනීමයි. මෙසේ තබා ගැනීම නිසා පහර එල්ල කිරිමට මෙන්ම තමා වෙත එල්ලවන පහරකින් ආවරණය වීමටද ඉඩ සලසා ගන්න පුළුවන්.

වින්ග්චුන් මුෂ්ටිය ගැන සාකච්ඡා කිරිමේදී වින්ග්චුන් ආප්තෝපදේශ පුවරු (Ving Tsun Kuen Kuit) වල සඳහන් වී තිබෙන එක් කියමනක් ගැන අවධානය යොමු කිරීම වටිනවා. ඒ කියමන නම් "The fist comes from the heart" යන්න යි. (මුෂ්ටිය අරම්භ වන්නේ හදවතෙන්.)
මේ කියමන තුළ ඉතා වැදගත් සහ ගැඹුරු කාරණා තුනක් ගැබ් වෙලා තියෙනවා. ඒ කාරණා එකින් එක සලකා බලමු.

1).  වින්ග්චුන් මුෂ්ටි පහර එල්ල වන්නේ තමාගේ මධ්‍ය රේඛාවේ සිට ප්‍රතිවාදියාගේ මධ්‍ය රේඛාව වෙතට යි. එනම් තමාගේ හදවතේ සිට ප්‍රතිවාදියාගේ හදවත දෙසට යි. එක් හදවතක් ආසන්නයේ සිට තවත් හදවතක් වෙතට බලය යොමු කිරීම මෙම ආප්තෝපදේශයෙන් කියැවෙන මුල්ම අදහස යි.

2). පහරක් එල්ල කිරීමේදී ඒ පිලිබඳ මුල්ම අදහස පහල වන්නේ ඔබගේ මනස තුළ යි. පහර එල්ල කිරීම හෝ නොකිරීම තීරණය කරන්නේ ඔබේ මනස යි. පහරක් එල්ල කිරීමේදී එම පහර හොඳින් ඒකාග්‍ර වූ මනසක් සහිතව එල්ල කිරීමෙන් එහි ගැබ්ව තිබෙන උපරිම ශක්තිය ප්‍රයෝජනයට අරගන්න පුළුවන්. පැරණි පෙරදිග චින්තනයට අනුව මනස පවතින්නේ හදවත ඇසුරු කරගෙනයි. ඒ නිසා පහරක් එල්ල කිරීමේදී ඒ පිළිබඳ මූලික අරමුණ බිහිවන්නේ හදවත තුල බව චීන සටන් කලාව තුල පිළිගන්නා කාරණයක්. ඔබේ හදවත තුළ සැකය හෝ වෛරය පිරී ඇත්නම් ඔබ එල්ල කරන පහර දුර්වල පහරක් බවට පත්වෙනවා. එය ශක්තිමත් පහරක් බවට පත් කරගැනීමට නම් හදවත පිරිසිදුව, ශක්තිමත්ව සහ ඒකාග්‍රව තබාගැනීම අත්‍යාවශ්‍ය යි. ඒ අනුව ඔබේ පහරේ ගාමක බලය ඔබේ හදවත තුලින් ආරම්භ වන බවත් හදවත ද ඔබේ පහරත් සමග ඉදිරියට ගමන් කළ යුතු බවත් ඉහත ආප්තෝපදේශයෙන් කියවෙන දෙවන අදහස යි.

3). මෙහි ගැබ් වී තිබෙන තෙවන අදහස ඔබගේ ගුරුවරයාගේ හදවත පිළිබඳව යි. වඩාත් ගැඹුරට සිතා බැලුවහොත් ඔබ එල්ල කරන පහර ඇත්තටම මුලින්ම ජනිත වන්නේ ඔබේ ගුරුවරයා ගේ හදවතේ යි. මන්ද යත් ඔබට එම පහර නිවැරදිව එල්ල කරන ආකාරය උගන්වන්නේ ඔබේ ගුරුවරයා නිසා සහ එය නිවැරදිව ඔබට ඉගැන්වීමේ වගකීම තිබෙන්නේ ගුරුතුමාගේ හදවතේ නිසා. ඔබ යහපත් සිසුවකු නොවේ නම් ඔබේ ගුරුතුමා ඔබ වෙත යොමු කරන අවධානය ද අඩු වනු ඇත. එසේ වූ විට ගුරුවරයාගේ හදවතින් ඔබේ හදවතට සම්ප්‍රේෂණය වන දැනුම ප්‍රමාණය ද සීමාසහිත වනු ඇත. අවසානයේදී ඔබගේ පහරේ සත්‍ය ආරම්භක ස්ථානය වන ගුරුවරයාගේ හදවත තුලින් එය නිවැරදිව ආරම්භ වී නොමැති නිසා ඔබ කොපමණ පුහුණු වූවත් ඔබගේ දක්ෂතාවය සීමාසහිත එකක් වනු ඇත. අනෙක් අතට ඔබ කෙතරම් හොඳ සිසුවකු වුවත් ඔබගේ ගුරුවරයා දක්ෂ ගුරුවරයකු නොවේ නම් හෝ ශිල්පය නිසිපරිදි දන්නා ගුරුවරයකු නොවේ නම් එහිදීත් ඔබගේ ගුරුවරයාගේ හදවත තුළින් නිවැරදි දැනුම ඔබේ හදවත වෙතට සම්ප්‍රේෂණය නොවනු ඇත. මේ නිසා ඔබ වින්ග්චුන් ශිල්පය පුහුණු වන විට යහපත් සිසුවකු විය යුතු මෙන්ම නිවැරදි ශිල්පය දන්නා දක්ෂ ගුරුවරයකු සොයාගැනීමට ද වෙහෙස විය යුතු ය. 

වින්ග්චුන් මුෂ්ටි පහර පිළිබඳව තවත් ගැඹුරට සාකච්ඡා කරන්නේ නම් පහරේ නිරවද්‍යතාව පවත්වා ගැනීම, මාංශපේශීන් නිවැරදිව පුහුණු කිරීම, උපරිම බලය ජනනය කිරීමේ ක්‍රමවේදය, පළමු පහර එල්ල කල පසු දෙවන පහරට ඉඩ සලසා ගැනීමේ ක්‍රම, ක්ෂණික දෑත් හුවමාරුව වැනි කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට පුළුවන්. ඒ සියළු මාතෘකා ආවරණය කිරිම මෙවැනි කෙටි ලිපියකින් සිදු කිරිමට අපහසු යි. ඒ වාගේම එම බොහෝ කරුණු අත්දැකීමෙන්ම ඉගෙනගැනීම වඩාත් සාර්ථක යි. ඒ නිසා නිවැරදි ශිල්පය දන්නා ගුරුවරයකු හමු වී යහපත් සිසුවකු ලෙස කැපවීමෙන් ශිල්පය ඉගෙනගෙන රටට වැඩදායී පුද්ගලයකු වන්න. 
ඔබට ජය.!!

-Uditha Senaratne

Comments

Popular posts from this blog

සෙන් කතා